Tuesday, December 25, 2012

ඔබට මට නොකියාම එන හැඟීම..




හරි සුන්දරයි...  අනේ ඇයි එහෙම උනේ...  මට දුකයි ඒකට... තරහින්ද ඔයා... ඉතින් හිනාවෙන්නකෝ..
ඇයි සතුටු  නැද්ද ඔයාට..... ඔය මූන එල්ලගෙන ඉන්නෙ එහෙනම්....  හ්ම්..... හරි හරි ඉතින්.... සමාවෙන්න මට... ආදරෙයිනේ ඔයාට.....

ජීවිතේ අපි නොදන්න නොතේරෙන ගොඩාක් දේවල් තියනවා... ඒ දේවල් ගැන හිතන්න හිතන්න තවත් හිතන්න දේවල් එකතු වෙනවා විතරයි... ඒ නොතේරෙන කරුනු අතරින් සමහර දේවල් වලට කාලයත් එක්ක විසඳුම් ලැබෙනවා..  තවත් කොටසක් තියනවා ඒවට කවදාවත්ම  උත්තරයක් ලැබෙන්නෙත් නෑ උත්තරයක් හොයන්නත් බෑ... එහෙම එකක්  තමයි හැඟීම් කියන්නේ...කාටද හැඟීම් ඇති නොවෙන්නේ... හැඟීම් වලින් තොර පුද්ගලයෙක්  කවදාවත් හොයාගන්න බෑ අපිට.. ඒ වගේම තමයි හැඟීම් වලින් තොර ජීවිතයක් ගැන හිතන්නවත්  බෑ කවදාවත්ම...
කෙනෙක් හැඟීම් වලින් තොර වෙනවා නම්.. ඒ ඔහුගේ හෝ ඇයගේ මරණයේදී විතරයි...

 දුක,බිය ,සතුට, ආදරය ,විශ්මය,ක්‍රෝධය...  මේ හැම එකක්ම එකිනෙකට වෙනස් උනාට ඒ සියල්ලම පොදුවෙ අයිති වෙන්නේ හැඟීම් කියන ගනයට... හරි පුදුමයි... ඇයි මෙහෙම වෙන්නේ... හැඟීම්  ඇති වෙන්න කිසියම් සිද්දියක්ම අවශ්‍ය වෙන්නේ නෑ... අවශ්‍ය වෙන්නෙ ජීවී මනසක් විතරයි... මොකද ඕනෙම කෙනෙක්ට කුමන හෝ දෙයක් පිළිඹඳ ඕනෑම හැගීමක් ඇතිවෙන්න පුලුවන්... හරියටම තෝරාගත්ත වෙලාවක් නැතිවම, ඉබේම හටගන්න දෙයක් තමයි හැගීම් කියන්නේ..

නමුත් එක වෙනසක් තියනවා... ඒ මොකක්ද දන්නවද? එකම පුද්ගලයාට එකම දේ පිළිඹඳ විටින් විට විවිද  හැගීම් ඇතිවෙන්න පුලුවන්... ඒක තීරනය වෙන්නේ එ ඒ පුද්ගලයාගේ දැනුම සහ දෙයක් අවබෝද කරගැනීමේ මට්ටමත් එක්කයි... මම පුන්චි උදාහරනයක් දෙන්නම්... කෙල්ලෙක්ට ලස්සන පූස් පැටියෙක් දැක්කම හරිම ආදරයක් ඇතිවෙනවා ඒ පූස් පැටියා ගැන.. ඒ වගේම තමයි කැරපොත්තෙක්   දැක්කම හරිම අප්පිරියාවක් වගේම බියක් ඇතිවෙනවා... නමුත් අපි හිතමු අර පූසා කැරපොත්තව කනවා කියලා...
අන්න ඒ වෙලාවේ අර කියපු කෙල්ලට ඒ පූසා ගැනම තරහක් ඇතිවෙනවා... කැරපොත්තා  ගැන දුකක් ඇති වෙනවා... හරි පුදුමයි නේද? එකම දේ ගැන එකම පුද්ගලයට දෙවිදිහකට හැඟීම් ඇතිවෙන එක...

ඉතින් අපිට නොකියාම නොදැනුවත්වම හැම මොහොතකම  හිතට එන දෙයක් තමයි හැගීම කියන්නේ... කොච්චර අපහසු උනත් අපි පුරුදු වෙන්න ඕනේ ඒ කියන හැඟීම පාලනය කරගන්න.. අපිට වලක්වන්න බෑ හැගීම් දැනෙන එක... නමුත් ඒ දැනුනු හැඟීම පිළිබඳ ගන්න තීරනය හැමවිටම දෙවරක්  හිතලා ගන්න ඕනේ... මොකද හැඟිම් වලට  සීමාවක් නැති උනාට අපි කරන කියන දේවල් වලට සීමාවක් තියනවා... අපිට  දැනෙන හැඟීම හිත ඇතුලේ තියනකම් ප්‍රශ්නයක් නොවුනත් ඒක එලියට ආවොත් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන්... මොකදා එකම පුද්ගලයට එකම දේ ගැන විවිද දේවල් හැඟෙනවනේ....
අන්න ඒකයි...


කවී.......

Friday, December 21, 2012

පරිසමාප්ත අර්ථයම නොවේ...






 

                                                                                       සිතන්න මදක්... බොහෝම සාමාන්‍ය මිනිසෙකුට අලුත්ම  අමුතුම  හැඟීමක් දැනෙනවා නම්..  සුලඟේ හඬ වෙනදාට වඩා ඔහුගේ සිතට මිහිරක් ගෙන දෙනවා නම්... කරාමයකින් වතුර ගලන විට එහි වෙනදා නොදුටු රිද්මයක් පෙනේ නම්..  බොහෝ වෙලාවට නිහඬවම තම හදවතේ රිද්මයට සවන්දෙයි නම්...මේ ආකාරයට එකී නොකී සියලුම දේ පිලිඹඳ වෙනදා නොවිඳි ආකාරයේ හැඟීමක්  දැනේ නම්  නිසැක වශයෙන්ම ඔහු යම් දෙයකට අසීමිතව ආදරේ කරන්නෙකු විය යුතුය..සමහර විට ඒ පිරිමියෙකු නම් කාන්තාවකට ද , කාන්තාවක් නම් පිරිමියෙකුටද කරන ආදරයක් විය  හැක..  කෙසේ නමුත් ලොව ජීවත් වන සියලු දෙනාම මෙම තත්වයට මුහුන දීම සාමාන්‍ය දෙයකි...

ආදරය යනු .. ජීවිතයද?

මා දකින ආකාරයට නම් ආදරය යනු සාමාන්‍ය රෝගයකි.. ලොව ජීවත් වන සියලු දෙනාම පාහේ මෙම රෝගයට වරක් හෝ වැඩි වාර ගනනක් මුහුන දී ඇතිවාට සැකයක් නැත.. මෙහි ඇති විශේෂත්වය නම් ජාති ආගම් කුල බේද මෙන්ම තත්වය තරාතිරම වැනි කිසිම කරුනක් රෝගය වැළඳීමට බාදාවක් නොවීමයි... සත් මහල් ප්‍රාසාදයක  සිටින්නෙකුට මහ මග  ලගින්නෙකු කෙරේ ආදරයක් ඇති උවද පුදුම විය යුතු නැත..  යමෙකුට  ආදරය නැමති සාමාන්‍ය රෝගය වැලඳී ඇත්නම් පෙර කී ලෙසට අලුත් අලුත් දේ ඔහුට දැනෙන්නට පටන් ගනී.. අවට ඇති සියලුම දේ පිළිබඳ සෞන්දර්‍යාත්මක පැත්තකින් බැලීමට ඔහු පෙලඹේ. එය ආදරය නැමති රෝගයේ ප්‍රාධානම රෝග ලක්ශනයයි.. ඔහු දොම්නස් සහගත දේ කෙරෙන් ඈත් වී කටයුතු කරයි.. සෑම විටම සොම්නස සොයන අතර තරමක හුදෙකලාවද ප්‍රිය කරයි... ඔහු නින්දට යෑමේදී හා නින්දෙන් අවදි වීමේදී.. තමන් ආදරය කරන දේ සිහියට නැගේ.. විටෙක එය සිතට බරක් ගෙන දෙන අතර විටෙක එසේ නොවේ...

ආදරය යන්න ප්‍රාධාන වශයෙන් කොටස් දෙකකට වෙනකර දැක්විය හැක...  එකක් නම් ඒකපාර්ශවික ආදරයයි... ලොව බහුතරයක් දෙනා ජීවත් වන්නේ ඉහත සඳහන් කල ඒකපාර්ශවික ආදරයක් තුලය.. අනෙක් කොටස ජීවත් වන්නේ ද්වීපාර්ශවික  ආදරය තුලය... ආදරය කරන්නවුන් දෙදෙනාම දැනුවත් වී ආදරය කිරීම ද්වීපාර්ශවික  ආදරය නමින්  හැඳින්වේ.. දුක සහ සතුට යන හැගීම් ද්විත්වයෙන් ඒකපාර්ශවික ආදරයක් ඇත්තවුන්ට වැඩි වශයෙන්  දැනෙන්නේ දුක නැමති හැඟීමය ... ද්වීපාර්ශවික ආදරයක් හිමි පුද්ගලයින් හට දුක,සතුට යන හැගීම් දිවිත්වයම අඩු වැඩි වශයෙන් දැනේ..

කෙසේ නමුත් කුමන කාන්ඩයට අයත් වුවත් අවසානයේ ආදරය තම ජීවිතයට සමාන කරගැනීම පොදු ලක්ශනයකි... පුද්ගලයින් අති බහුතරයක් ජීවත් වන්නේ ආදරය තම ජීවිතය බවට පත්කරගෙනය,... මේ කරුන පිළිඹද හරි වැරදි පෙන්වීමක් මා විසින් සිදු නොකරමි... ඒ මක් නිසාද යත් එහි හරි වැරදි බව එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසාවෙනි..  නමුත් සමස්තයක් ලෙස බලන විට අපට පෙනී යන්නේ ආදරය ජීවිතය බවට පත්කරගැනීම තුල බොහෝ අවස්ථාවන් වලදී ගැටලුකාරී තත්වයන් උද්ගත වන බවයි.. මෙමෙ තත්වය තුලදී වත්මන් සමාජයේ ජීවිතයට ඇති  වටිනාකමද හීන වී තිබේ... සමාජයේ  සිදුවන  බහුතරයක් ජීවිත අහිමිකරගැනීම් හා  මිනීමැරුම් වලට ආදරය මුල් වී ඇති බව සොයාගෙන ඇති කරුණකි..  එමගින් අපිට හැඟෙන්නේ කුමක්ද? ආදරය කෙතරම් සුන්දර හැඟීමක් වුවත් , කෙතරම් තෘප්තියක් ගෙන දුන්නත්... ආදරය ජීවිතයට ලන් කරගෙනීමේදී ආදරය හා ජීවිතය අතර තරමක පරතරයක් තබාගත යුතු බව නොවේද? ඒ තබාගන්නා පරතරය හේතුවෙන් දිනක ආදරය අහිමි වූවද ජීවිතයට ඉන් සිදුකෙරෙන බලපෑම අවම වේ..


එහි සැබෑ අර්ථය නම් ආදරය අහිමි වීමකදී තවත් වරක් ආදරය වැලඳෙන තාක් හෝ සදාකාලිකව තනිව විසීමට ජීවිතය ඉතුරු  වන බවයි... 


කවී.....

Sunday, December 16, 2012

සඳ නෑ මගේ අහසේ පෙර වාගේ



 
සඳ නෑ මගේ අහසේ පෙර වාගේ.....
ගිලිලා මුලු ලොවම මගේ අන්ධකාරයේ.....
පියනගමි මා මෙසේ අනාතයෙකු සේ......
සොයන්නේ කෙසේ නැතිවූ මගේ ආදරේ.. 




 




සීතල දෙසැම්බර් මාසේ ඉවර වෙන්න තව දවස් කීයද?
කිතුනුවෙක් නොවුනත් මට මතකයි මමත් පුන්චි දවස් වල නත්තල් ගහ සරසනවා...
ඒත් අපි වයසින් ලොකුවෙනකොට ඒ හැමදේම අපිටත් නොදැනිම අපේ ජීවිත වලින් ඈත්වෙලා...
දැන් ඒවා නිකම්ම නිකන් මතකයන් විතරයි... හිතේ කොහේ හරි කොනක ඒවා තියනවා..
ඒත් සමහර මතකයන් තියනවා නිකම්ම නිකන් මතකයන් නොවන ඒවා...
ඒ මතකයන් මරණය දක්වාම හිතේ රැදිලා අපිව රිද්දනවා... ඉඩක් ලැබුනු ගමන් ඒ දෙවල් ආයෙමත් 

මතක් කරවනවා...

ඒ වගෙ මගේ අද මේ ගෙවන හරිම වේදනා බර ජීවිතයට හේතු වෙච්ච දේත් මට තාම මතකයි... අද වගේ..
නිකම්ම නිකම් ගලාගෙන යන දිය  පාරකට වඩා ගස්වැල් අසෙන් ගල් උඩින් ගලාගෙන යන දිය පාරක ලස්සන රිද්මයක් තියනවා.. හරිම ප්‍රාණවත් බවක් තියන්වා.. ඒ වගේම තමයි ජීවිතෙත්.. එකාකාරී  ජීවිතේට ආදරේ කියන දේ එකතු උනාම ජීවිතෙත් අමුතුම එකක් බවට පත්වෙනවා.. එතකොට තමයි දැනෙන්නේ අපි ජීවත් වෙනවා නේද කියලා. 

ඉතින් ඔය කියන ආදරේ මගේ ජීවිතේටත් එකතු උනා මට මතකයි.. අද වගේ මතකයි ඒ මොහොත...
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එයා ලස්සන කෙල්ලෙක්... එයාගේ ලස්සන ඇස්, 

දිග කලු  කොන්ඩෙ තව කොච්චර නම් තියනවද කියන්න... . මම කොච්චර ආසා කරාද ඒ දේවල් වලට...  මම ලෝබ උනා ඒ දේවල් මගෙන් ඈතට යයි කියලා... ඒකයි මම එයාව මගේම කරගන හිතුවේ...  ඇත්තටම එයා මගේම උනා... ඒත් හැමදාටම නෙමෙයි...

මගේ ආදරේ ගැන මම මුලින්ම එයාට කියපු දවස තරම් මම බයවෙලා නැතුව ඇති කවදාවත්...
මට දැනුන බය ඒ විදිහට ම  ඒයාටත්  දැනුනා.. මම ඒක දන්නවා.. මොහොතකට දුරකතනය 

 නිශ්ශබ්ද උනා... ඒ වගේම මගෙ හදවතත්... ඊලඟ මොහොතේ එයා කෝල් එක කට් කරා... 
දන්නවද ඒ මොහොතේ මට දැනුන හැඟීම... ඒක විස්තර කරන්න දන්නේ නෑ මම...
තප්පර විනාඩි පැය ගනනින් කාලය ගෙවුනා.. ඒත් මම එතනමයි.. දුරකතනයත් තවම අතේමයි... 

" ටීක් ටීක්...    ටීක් ටීක්...... " ඒක කෙටි පනිවිඩයක්... නිකමට වගේ බැලුවා කාගෙන්ද කියලා.. 

දන්නවද පනිවිඩේ තිබුනේ මොකක්ද කියලා.... " මමත් ඔයාට කැමතියි..... " ඒ එයා... මම පනටත් වඩා ආදරේ කරපු ඒ ලස්සන කෙල්ල.... එතනින් එහාට ඉතින් කාලය කියන දේ ගැන අපිට ගානක් තිබුනේ නෑ...  ඒවා ඕහේ ගලාගෙන ගියා... පංතියේ , වැව රවුමේ.. මෙ හැමතැනකම  හැමදාම එක එක ජාතියේ සුන්දර  මතක සටහන් එකතු උනා ජීවිතෙට... කොච්චර සතුටෙන් හිටපු කාලයක්ද? මම කොච්චර නම් ආදරේ කරාද?

මොනවා උනත් මගේ  ආදරේටත් නරක කාලයක් උදා උනා... මේ ලෝකේ ඉන්න කිසිම පෙම්වතෙක් කවදාවත් නොදකින්න පතන දේ මම දැක්කා.. මට හිතුනේ මගේ ඇස් මට බොරු කරනවා කියලා... නැත්නම් මට පුලුවන්ද මගේ ආදරේ වෙන කෙනෙක්ගේ තුරුලේ ඉන්නවා කියන එක විශ්වාස කරන්න..
ඒත් ඒක එහෙම වෙලා තිබුනා.. හේතුවක් නැතුවම ඒක එහෙම වෙලා තිබුනා...  

මම කොච්චර අවාසනාවන්තද?

ටික දවසකට පස්සේ,  ඒත්  මේ වගේම දෙසැම්බර් මාසෙක එයාගෙන් කෙටි පනිවිඩයක් ආවා... 

" ටීක් ටීක්...    ටීක් ටීක්...... "

" ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි.. "



සඳ නෑ මගේ අහසේ පෙර වාගේ.....
ගිලිලා මුලු ලොවම මගේ අන්ධකාරයේ.....
පියනගමි මා මෙසේ අනාතයෙකු සේ......
සොයන්නේ කෙසේ නැතිවූ මගේ ආදරේ.. 



  කවී.....