Wednesday, August 16, 2017

යකඩ වලට පණ නෑ අපෙ හාමුදුරුවනේ

එදා ටිකක් වැස්ස තියෙන දවසක් සෙනසුරාදා හවස් වරුව කියන්නෙ ටිකක් නිදහස් වෙලාවක්. මම ටවුන් එකට ගිහින් දහම් පාසලට ඕනේ කරන පොත්පත් කිහිපයක් අරගෙන ආවා. ඒ එන අතරේ ටිකක් ඈතට වෙන්න පාර අයිනකින් නවත්තලා තිබ්බ වෑන් එකකින් බැහැපු තරුණ වයසේ පිරිමි ළමයෙක් මගේ ලඟට ආවා. ඇවිත් අහනවා අපෙ හාමුදුරුවනේ මේ පාරෙන් දිගටම ගියොත් ඉස්සෙල්ලම හම්බෙන ටවුම මොකක්ද කියලා. ඉතින් මම ඒ ළමයට කිව්වා ගමන් විස්තරය. මට ස්තුතියි කරපු ඒ දරුවා වාහනය දිහාවට අත දිගු කරලා මට කිව්වා අපෙ හාමුදුරුවනේ මේ වෑන් එක මගේ යාලුවෙකුගේ. එයාගෙන් ඉල්ල ගෙන තමයි මම මේ වන්දනා ගමන ආවේ. වාහනය පොඩ්ඩක් ලෙඩ දෙන්න ගත්තා. මං බැලුවේ ළඟම තියෙන ටවුන් එකකින් හදාගන්න පුළුවන් වෙයිද කියලා. මම ඒ ළමයට කිව්වා ටවුමටම යන්න වශ්‍ය නෑ ඊට කිට්ටුවෙන්ම ගරාජයක් තියෙනවා කියලා. ඒ වගේම ඊටත් ටිකක් එහායින් තවත් හොද ගරාජයක් තියෙනවා කියලා. ඒ ගමන ඒ තරුණ ළමයා මට කියනවා "අපෙ හාමුදුරුවනේ වාහනය ලෙඩ තියාගෙන තව තව දුර යන එක අවදානම්. අපි කොච්චර හොඳට එලෙව්වත් යකඩ වලට පණ නෑ අපෙ හාමුදුරුවනේ.. තවත් ජීවිතයක වටිනාකම මෙය යකඩ වලට තේරෙන් නෑ... " එහෙම කියපු ඔය තරුණ ළමයා මගේ දෙපා වැඳලා ආශිර්වාද ගෙන ආයෙමත් වාහන දිහාවට යන්න පිටත් වුණා. වැස්ස ටිකක් තද කරපු නිසා මමත් තකහනියේ පන්සලට එන්න පිටත් උනා. පන්සලට එන ගමනේ මගේ සම්පූර්ණ කල්පනාව වුණේ ඒ ළමයා කියපු වචන ටික. " යකඩ වලට පණ නෑ අපෙ හාමුදුරුවනේ" ඒ කතාව කොච්චර ඇත්තක්ද , කොච්චර සාධාරණද... අද තරුණ සමාජය අපි හිතනවට වඩා කොච්චර බුද්ධිමත්ද.. හෙට දහම් පාසලේ දරුවන්ට කියන්න මට හොඳ ආදර්ශ කතාවක් තියෙනවා.. එහෙම හිතාගෙන මමත් හෙමින් එමෙන් පන්සලට සේන්දු වුනා...