Sunday, December 16, 2012

සඳ නෑ මගේ අහසේ පෙර වාගේ



 
සඳ නෑ මගේ අහසේ පෙර වාගේ.....
ගිලිලා මුලු ලොවම මගේ අන්ධකාරයේ.....
පියනගමි මා මෙසේ අනාතයෙකු සේ......
සොයන්නේ කෙසේ නැතිවූ මගේ ආදරේ.. 




 




සීතල දෙසැම්බර් මාසේ ඉවර වෙන්න තව දවස් කීයද?
කිතුනුවෙක් නොවුනත් මට මතකයි මමත් පුන්චි දවස් වල නත්තල් ගහ සරසනවා...
ඒත් අපි වයසින් ලොකුවෙනකොට ඒ හැමදේම අපිටත් නොදැනිම අපේ ජීවිත වලින් ඈත්වෙලා...
දැන් ඒවා නිකම්ම නිකන් මතකයන් විතරයි... හිතේ කොහේ හරි කොනක ඒවා තියනවා..
ඒත් සමහර මතකයන් තියනවා නිකම්ම නිකන් මතකයන් නොවන ඒවා...
ඒ මතකයන් මරණය දක්වාම හිතේ රැදිලා අපිව රිද්දනවා... ඉඩක් ලැබුනු ගමන් ඒ දෙවල් ආයෙමත් 

මතක් කරවනවා...

ඒ වගෙ මගේ අද මේ ගෙවන හරිම වේදනා බර ජීවිතයට හේතු වෙච්ච දේත් මට තාම මතකයි... අද වගේ..
නිකම්ම නිකම් ගලාගෙන යන දිය  පාරකට වඩා ගස්වැල් අසෙන් ගල් උඩින් ගලාගෙන යන දිය පාරක ලස්සන රිද්මයක් තියනවා.. හරිම ප්‍රාණවත් බවක් තියන්වා.. ඒ වගේම තමයි ජීවිතෙත්.. එකාකාරී  ජීවිතේට ආදරේ කියන දේ එකතු උනාම ජීවිතෙත් අමුතුම එකක් බවට පත්වෙනවා.. එතකොට තමයි දැනෙන්නේ අපි ජීවත් වෙනවා නේද කියලා. 

ඉතින් ඔය කියන ආදරේ මගේ ජීවිතේටත් එකතු උනා මට මතකයි.. අද වගේ මතකයි ඒ මොහොත...
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එයා ලස්සන කෙල්ලෙක්... එයාගේ ලස්සන ඇස්, 

දිග කලු  කොන්ඩෙ තව කොච්චර නම් තියනවද කියන්න... . මම කොච්චර ආසා කරාද ඒ දේවල් වලට...  මම ලෝබ උනා ඒ දේවල් මගෙන් ඈතට යයි කියලා... ඒකයි මම එයාව මගේම කරගන හිතුවේ...  ඇත්තටම එයා මගේම උනා... ඒත් හැමදාටම නෙමෙයි...

මගේ ආදරේ ගැන මම මුලින්ම එයාට කියපු දවස තරම් මම බයවෙලා නැතුව ඇති කවදාවත්...
මට දැනුන බය ඒ විදිහට ම  ඒයාටත්  දැනුනා.. මම ඒක දන්නවා.. මොහොතකට දුරකතනය 

 නිශ්ශබ්ද උනා... ඒ වගේම මගෙ හදවතත්... ඊලඟ මොහොතේ එයා කෝල් එක කට් කරා... 
දන්නවද ඒ මොහොතේ මට දැනුන හැඟීම... ඒක විස්තර කරන්න දන්නේ නෑ මම...
තප්පර විනාඩි පැය ගනනින් කාලය ගෙවුනා.. ඒත් මම එතනමයි.. දුරකතනයත් තවම අතේමයි... 

" ටීක් ටීක්...    ටීක් ටීක්...... " ඒක කෙටි පනිවිඩයක්... නිකමට වගේ බැලුවා කාගෙන්ද කියලා.. 

දන්නවද පනිවිඩේ තිබුනේ මොකක්ද කියලා.... " මමත් ඔයාට කැමතියි..... " ඒ එයා... මම පනටත් වඩා ආදරේ කරපු ඒ ලස්සන කෙල්ල.... එතනින් එහාට ඉතින් කාලය කියන දේ ගැන අපිට ගානක් තිබුනේ නෑ...  ඒවා ඕහේ ගලාගෙන ගියා... පංතියේ , වැව රවුමේ.. මෙ හැමතැනකම  හැමදාම එක එක ජාතියේ සුන්දර  මතක සටහන් එකතු උනා ජීවිතෙට... කොච්චර සතුටෙන් හිටපු කාලයක්ද? මම කොච්චර නම් ආදරේ කරාද?

මොනවා උනත් මගේ  ආදරේටත් නරක කාලයක් උදා උනා... මේ ලෝකේ ඉන්න කිසිම පෙම්වතෙක් කවදාවත් නොදකින්න පතන දේ මම දැක්කා.. මට හිතුනේ මගේ ඇස් මට බොරු කරනවා කියලා... නැත්නම් මට පුලුවන්ද මගේ ආදරේ වෙන කෙනෙක්ගේ තුරුලේ ඉන්නවා කියන එක විශ්වාස කරන්න..
ඒත් ඒක එහෙම වෙලා තිබුනා.. හේතුවක් නැතුවම ඒක එහෙම වෙලා තිබුනා...  

මම කොච්චර අවාසනාවන්තද?

ටික දවසකට පස්සේ,  ඒත්  මේ වගේම දෙසැම්බර් මාසෙක එයාගෙන් කෙටි පනිවිඩයක් ආවා... 

" ටීක් ටීක්...    ටීක් ටීක්...... "

" ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි.. "



සඳ නෑ මගේ අහසේ පෙර වාගේ.....
ගිලිලා මුලු ලොවම මගේ අන්ධකාරයේ.....
පියනගමි මා මෙසේ අනාතයෙකු සේ......
සොයන්නේ කෙසේ නැතිවූ මගේ ආදරේ.. 



  කවී.....